කොරෝනා යනු කුමක්ද? ඒ සඳහා මා කළ යුත්තේ මොනවාද?

කොරෝනා නොහොත් කොරෝනා වයිරසය යනු පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා විෂබීජයකි. මෙම විෂබීජය පැතිරීම මගින් මිනිසා රෝගී බවට පත් වේ. වියළි කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, උණ සහ ඇඟ පතේ රුදාව කොරෝනා රෝග ලක්ෂණ කිහිපයකි. මෙම රෝගය වැඩි වශයෙන්ම බලපානු ලබන්නේ ශ්වසන පද්ධතියටයි. මෙම රෝග ආසාදනය බොහෝ අවස්ථා වලදී භයානක නොවන නමුත්, නියුමෝනියා (පෙනහළු ආශ්‍රිත දරුණු ආසාදනයකි ) තත්වයකදී මෙය මාරාන්තික විය හැකිය.

ඕනෑම පුද්ගලයෙකුට කොරෝනා රෝගය වැළඳීමට ඉඩකඩ ඇත. මහළු පුද්ගලයින් මෙන්ම ශ්වසන ආබාධ, පිළිකා, දියවැඩියාව වැනි වෙනත් රෝග වලින් පෙලෙන පුද්ගලයින්ට මෙම රෝගය වඩා දරුණුවට බලපෑමේ අවදානමක් පවතී.

කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ හුස්ම පිටවීම, කැස්ස, හෝ කිවිසුම් යාමේදී පිටවෙන බිඳිති වෙනත් පුද්ගලයෙකු, පෘශ්ඨයක් හෝ ආහාර මත පතිත වීමෙන් මෙම රෝගය බෝ වීමේ හැකියාවක් ඇත. වයිරසය මිනිස් ශරීරයකට ඇතුළු වන්නේ මුඛය, නාසය සහ ඇස් මගිනි. මිනිස් ශරීරයකට ඇතුළු වූ පසුව වයිරසය ගුණනය වී ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රීයයන්ට පැතිරීමේ අවදානමක් පවතී. රෝග ලක්ෂණ මතු වීමට ප්‍රථම වයිරසයට මිනිස් ශරීරය තුළ දින 14ක් ජීවත් වීමට හැකියාව ඇත. එමනිසා සමහර පුද්ගලයින්ට කොරෝනා වයිරසය ආසාදිත වී පැවතියද ඒ ගැන නොදැන අනෙක් පුද්ගලයින්ට වයිරසය පැතිරවීමේ අවදානමක් ඇත.

ප්‍රතිජීවක පෙති හෝ අත්බෙහෙත් මගින් මෙම වයිරසය මර්ධනය කළ නොහැක. වයිරසය ශරීරගත වීම වළක්වාගත හැක්කේ වයිරසය ස්පර්ශ කිරීම වැළැක්වීමෙන් සහ නිතර දෑත් සේදීම මගිනි.

වයිරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ඔබගේ දෑත් සබන් සහ ජලය භාවිතා කර නිතර සෝදා හරින්න. ඔබේ දෑත් අපිරිසිදු ලෙස නොපෙනුනද එසේ කරන්න. ගලා යන ජලයේ තත්පර 20ක් පමණ දෑත් සේදිය යුතු වේ. මේ අවස්ථාවේදී අතේ නියපොතු යට, අත්ල මෙන්ම මැණික් කටුව දක්වා සේදීමට වග බලා ගත යුතුය. මෙසේ සබන් ගා දෑත් සේදීම මගින් ඔබේ දෑතේ රැඳුනු වයිරස මරණයට පත් කළැ හැකි වේ. ආහාර පිසීමට පෙර සහ පසු, වැසිකිළි යෑමෙන් පසු, ආහාර ගැනීමට පෙර, රෝගී පුද්ගලයින් බලා ගන්නා විට, සතුන් හෝ සත්ව අපද්‍රව්‍ය හැසිරවීමෙන් පසු, කැස්ස හෝ කිවිසුම් යාමකට පසුව මෙලෙස ඔබේ දෑත් සෝදා ගත යුතු වේ.

දෑත් සෝදා ගැනීමෙන් තොරව ඔබගේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න. ඔබගේ දැත් මගින් නොයෙකුත් පෘශ්ඨ ස්පර්ශ විය හැකි අතර එමගින් වයිරසය ඔබේ දෑත මත තැවරිය හැකිය. මෙසේ අපිරිසිදු වූ දෑත් මගින් වයිරසය ඔබගේ ඇස්, නාසය සහ මුඛයට හුවමාරු විය හැකිය. ඉන් පසුව වයිරසය ශරීරගත වී ඔබ රෝගී විය හැකිය.

උණ, කැස්ස සහ වෙනත් ශ්වසන රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් සමග සමීපව ගනුදෙනු කිරීමෙන් වැළකීම වැදගත් වේ. කැස්ස හෝ කිවිසුම් යාමකදී සෑම විටම ඔබගේ මුඛය සහ නාසය ඔබගේ වැලමිටෙහි යටි පැත්තෙන් හෝ ලේන්සුවකින් වසා ගන්න. පොදු ස්ථාන වල කෙළ ගැසීමෙන් වළකින්න.

යම් පුද්ගලයෙකුට කැස්ස හෝ කිවිසුම් යනවා නම් ඔහුත් ඔබත් අතර මීටරයක (අඩි 3ක ) දුරක් පවත්වාගැනීමට වග බලාගන්න. උණ සහ කැස්ස පවතින පුද්ගලයින් සමග සමීපව ගනුදෙනු කිරීමෙන් වළකින්න.

ඔබට යම් හෙයකින් උණ, කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයන් සහිත පුද්ගලයෙක් රැක බලා ගැනීමට සිදු වේ නම් සෑම විටම ආරක්ෂාකාරී මුඛ ආවරණයක් පැලඳීමට සහ ඔබගේ දෑතේ සනීපාරක්ෂාව පිලිබඳව සැළකිලිමත් වීමට වග බලා ගන්න.

කොරෝනා රෝගය බෝ වීමෙන් වැළැක්වීම සඳහා වඩා සුදුසු වන්නේ අනෙක් පුද්ගලයින් සමග සිදු කෙරෙන භෞතික සම්බන්ධතා වලින් වැළකී සිටීමයි. වෙනත් පුද්ගලයෙක් සමග අතට අත දීමෙන් පසුව ඔබගේ ඇස්, නාසය සහ මුඛය ඇල්ලීමෙන් වයිරසය ශරීරගත විය හැකිය. එමනිසා, පුද්ගලයෙකු ආමන්ත්‍රණය කිරීමේදී අතට අත දීම, සිප වැළඳගැනීම ආදී නොකළ යුතුය. ඒ වෙනුවට අත වැනීම, හිස නැමීම හෝ දෑත් එක් කර ආචාර කිරීම කළ හැකිය. ඔබගේ ප්‍රදේශයේ කොරෝනා රෝගයේ පැතිරීමක් ගැන ඔබට හැඟුනොත් අන් අය සමඟ ගනුදෙනු කිරීම නවතා නිවසට වී සිටින්න.

හිසරදය, සොටු දියර ගැලීම වැනි දරුණු නොවන රෝග ලක්ෂණ සහ ශරීරයේ යම් අපහසුතාවක් දැනීමට පටන්ගත් වහාම, එම තත්වය පහව යන තුරු නිවසට වී සිටීමට වග බලාගන්න. කිවිසුම් යෑම, වියලි කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව සහ උණ ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. මෙය ශ්වසන ආසාදන හෝ වෙනත් බරපතල තත්වයක් නිසා විය හැකිය.

කොරෝනා පිළිබඳ ව්‍යාජ විශ්වාසයන් හා කටකතා ඉතා භයානක විය හැකි අතර මිනිසුන් මරණයට පවා පත් විය හැක. නිදසුනක් වශයෙන්, කොරෝනා වැළැක්වීම වෙනුවට බ්ලීච් හෝ ඇල්කොහොල් වැනි ද්‍රව්‍ය පානය කිරීමෙන් ඔබට හානි විය හැකිය. ඔබගේ මිතුරන්ගෙන් හෝ සමීප ඥ්‍යාතීන්ගෙන් ඔබට ලැබෙන තොරතුරු පවා වැරදි හෝ භයානක විය හැකිය. ඔබේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරියේ නිවැරදි මහජන සෞඛ්‍ය උපදෙස් පමණක් අනුගමනය කරන්න.

මෙම පණිවිඩය පතුරුවා හැරීමෙන් ඔබට කොරෝනා මර්ධනය කිරීමට උදව් කළ හැකිය. කරුණාකර එය ඔබගේ මිතුරන් හා පවුලේ අය සමඟ බෙදා ගන්න. WhatsApp වැනි පණිවිඩ සේවාවක් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

සෞඛ්‍ය දැනුම ශ්‍රවණය කිරීම සඳහා වන ගෝලීය ව්‍යාපෘතියක් වන Audiopedia විසින් මෙම අන්තර්ගතය ලබා දී ඇත. www.audiopedia.org වෙබ් අඩවියෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.